වී අලෙවියේ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී කිලෝවක් සඳහා ප්රමාණවත් හා සාධාරණ මිලක් තවදුරටත් තහවුරු කිරීමට රජයට නොහැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්ය කේ.ඞී. ලාල් කාන්ත මහතා ප්රකාශ කළේය. සහල් මිල අඩුවීම පාරිභෝගිකයාට වාසිදායක වුවද, ඒ හරහා වෙළඳපොළේ වී මිල පහත වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන අමාත්යවරයා, වර්තමානයේ රුපියල් 85ත් 110ත් අතර පවතින මෙම මිල ගණන් ගොවියාගේ ආර්ථිකයට ප්රමාණවත් නොවන බව විවෘතව පිළිගෙන තිබේ.
රජය බලය භාර ගන්නා අවස්ථාවේ වසා දමා තිබූ වී අලෙවි මණ්ඩලය යළි සක්රීය කර නාඩු රුපියල් 120කට, සම්බා රුපියල් 130කට සහ කීරි සම්බා රුපියල් 140කට මිලදී ගැනීම ආරම්භ කළද, රජය මගින් මිලදී ගන්නා සමස්ත ප්රමාණය තවමත් ප්රමාණවත් මට්ටමක නැත. මෙම අර්බුදයට විසඳුම් ලෙස සුළු හා මධ්ය පරිමාණ මෝල් හිමියන් සඳහා රුපියල් කෝටි 2.5ක උපරිමයකට යටත්ව පොලී රහිත ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇත්තේ, ඔවුන් රජයේ සහතික මිලට වී මිලදී ගැනීම අනිවාර්ය කරමිනි.
ගොවීන් මුහුණ දෙන තෙතමන ගැටලුවට තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමත්, ගොවි ප්රජාව වී වගාවට පමණක් සීමා නොවී ආදායම් මාර්ග විවිධාංගීකරණය කර ගැනීමත් ජාතික මට්ටමේ අත්යවශ්යතාවක් බව අමාත්යවරයා අවධාරණය කළේය. ජනතාවගේ මූලික ලෞකික අවශ්යතා සපුරාලීම සඳහා රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන අතර, කෘෂිකර්මාන්තය මුහුණ දී සිටින මෙම ව්යුහාත්මක අභියෝග ජය ගැනීම සඳහා ඉදිරියේදී වඩාත් පුළුල් හා විධිමත් යාන්ත්රණයක් ක්රියාත්මක කිරීමට අපේක්ෂිතය.















