අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේම පවතින පුරප්පාඩු පිරවීම රජය විසින් ක්‍රමානුකූලව සිදු කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය කාලයේ විවිධ හේතු මත ප්‍රමාද වී තිබූ පත්වීම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිදසුනක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 7ක් පුරා පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9ක් සඳහා පසුගිය සතියේ නිලධාරීන් පත් කළ බව සඳහන් කළේය. 2020-2024 කාලය තුළ අත්දැකීම් බහුල නිලධාරීන් විශාල පිරිසක් විදේශගත වීම නිසා රාජ්‍ය සේවයේ යම් පසුබෑමක් ඇති වූ බව ද ඔහු සිහිපත් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස මේ වන විට අවුරුදු 63 දක්වා වැඩිකර ඇති අතර එය 65 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීම් ලැබී තිබෙන බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් ද විවිධ අදහස් ලැබෙමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ පිළිබඳව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වැඩිදුරටත් කියා සිටියේය.
















