දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය අතිශය බරපතළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 29කි. පසුගිය වසරේ (2025) සමස්ත වසරටම රෝගීන් 51,552ක් වාර්තා වුවද, මෙවර වසරින් අඩක් ගතවීමටත් මත්තෙන් 47,000 සීමාව පසුකර යාමෙන් වසංගතයේ බරපතළකම පැහැදිලි වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී.ඒ. බොරලැස්ස මහතා සඳහන් කළේ පසුගිය දිනවල දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති බවයි. මෙවර වසංගතය උත්සන්න වීමට සාමාන්‍ය මදුරුවාට වඩා අට ගුණයක වේගයෙන් රෝගය පතුරවන ‘ඊඩිස් ඊජිප්ටයි’ මදුරු කාණ්ඩය සහ සමාජය තුළ ‘DENV2’ වෛරස් ප්‍රභේදය අලුතින් ව්‍යාප්ත වීම හේතු වී ඇත. දත්ත විශ්ලේෂණයේදී හෙළි වී ඇති සුවිශේෂීම කරුණක් වන්නේ මෙවර ඩෙංගු මරණවලින් 78.6%ක්ම කාන්තාවන් වීමයි. වයස අවුරුදු 25-34 අතර රැකියා නියුක්ත තරුණ පිරිස් සහ පාසල් ළමයින් වැඩිපුරම රෝගයට ගොදුරු වී ඇති අතර, වැඩිම බලපෑමක් එල්ල වී ඇති බස්නාහිර පළාතෙන් රෝගීන් 24,452ක් වාර්තා වේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම අවදානම කොළඹ (9,921) සහ ගම්පහ (8,698) දිස්ත්‍රික්කවලටයි.
මේ අතර, ඩෙංගු මර්දනය සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය සහ සෞඛ්‍ය අංශ තීරණය කර ඇත. වසා දමා ඇති නිවාස ඩෙංගු තවාන් බවට පත්ව ඇත්නම්, ඒවා බලහත්කාරයෙන් හෝ විවෘත කර පිරිසුදු කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා යන පිරිවැය මෙන් හතර ගුණයක දඩයක් අදාළ හිමිකරුවන්ගෙන් අය කරන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය. එමෙන්ම, මින් ඉදිරියට ඩෙංගු කීටයන් හමුවන පළමු අවස්ථාවේදීම කිසිදු සමාවකින් හෝ කාලය ලබාදීමකින් තොරව කෙළින්ම නඩු පවරන බව PHI සංගමය පවසයි. පසුගිය දින 3ක විශේෂ මෙහෙයුමකදී පමණක් රතු නිවේදන 3,348ක් නිකුත් කර, නඩු 2,401ක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
















