ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පතක් රජය විසින් නිල වශයෙන් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සකස් කරන ලද මෙම කෙටුම්පත පසුගිය මැයි 15 වන දින ප්‍රකාශයට පත් කර ඇති අතර, එය “2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත” ලෙස හඳුන්වා දී ඇත.
මෙම නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි වන අතර ඒ යටතේ ස්ථාපිත කර තිබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය ද නිල වශයෙන් අවසන් වනු ඇත. එම අවස්ථාව වන විට අදාළ ධූරය දරන පුද්ගලයා ඔහු අයත් වන සන්නද්ධ හමුදා සේවයට (යුද, නාවික හෝ ගුවන්) නැවත අනුයුක්ත කිරීමට මෙහිදී විධිවිධාන සලසා තිබේ.
මීට අමතරව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සතුව පවතින සියලුම නිශ්චල හා චංචල දේපළ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරීමට ද මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත. මෙය මෙරට ආරක්ෂක ව්‍යුහයේ සිදුවන තීරණාත්මක සංශෝධනයක් ලෙස සැලකේ.














