සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීම සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
නව සංශෝධන අනුව, සීමාසහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට රුපියල් 5,200 දක්වාත්, සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 23,000 සිට රුපියල් 26,400 දක්වාත් ඉහළ දමා තිබේ. මීට අමතරව, සීමාරහිත සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,250 සිට රුපියල් 19,800 දක්වාත්, සමාගමක නාමයක් අනුමත කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 2,300 සිට රුපියල් 2,600 දක්වාත් ඉහළ නංවා ඇත.
සමාගම්වලට අමතරව සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සහ සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තු ද මෙම නව සංශෝධනයට යටත්ව ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 3,450ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,900 දක්වා සහ රුපියල් 1,725ක්ව පැවති සමිති ව්‍යවස්ථා සංශෝධන ගාස්තුව රුපියල් 1,900 දක්වා සංශෝධනය කර ඇති අතර, මෙම ගාස්තු සංශෝධන රජයේ නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව ඉදිරියේදී බලාත්මක වනු ඇත.
















