රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබාගැනීම සහ ඔවුන්ගේ දැනුම හා කුසලතා සෞඛ්‍ය සේවාව සඳහා වඩාත් කාර්යක්ෂමව දායක කර ගැනීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී රෝහල් පද්ධතිය තුළ සායනික ඖෂධවේදය ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම, උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම සහ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා ඖෂධවේදී සේවාව ලබාගැනීම වැනි කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන්ම, ආරෝග්‍යා සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් ඖෂධ නිකුත් කිරීමේදී රෝගීන්ට තම ඖෂධ වට්ටෝරුව පිළිබඳ විධිමත් දැනුමක් ලබා දීම සඳහා උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය යොදා ගැනීමට ඇති හැකියාව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.
බෝ නොවන රෝග පාලනයේදී රෝගියා තමා භාවිත කරන ඖෂධ පිළිබඳ මනා අවබෝධයකින් සිටීම තුළින් අතුරු ආබාධ වළක්වා ගැනීමටත්, වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රතිඵලය රෝගියාට ලබාදීමටත් හැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මහජන මුදලින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවන මෙම උපාධිධාරී ඖෂධවේදීන්ගේ දැනුම හා කුසලතා මෙරට සෞඛ්‍ය සේවාව තුළ ප්‍රයෝජනයට ගැනීම කාලීන අවශ්‍යතාවක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
රජයේ ඖෂධවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ සේවාවන් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වන සාධනීය ප්‍රතිචාරය රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ඇගයීමට ලක් කළේය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීහු එක්ව සිටියහ.
















