මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා පුනරුත්ථාපනය කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක, නීතිය හා සාමය සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වෙමිනි.දශක ගණනාවක් තිස්සේ දේශපාලන රැකවරණය මධ්‍යයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම බිඳ දැමීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය සහ දේශපාලනඥයන් අතර පැවති අශුද්ධ සබඳතාවය දැන් අවසන් කර ඇති බවද අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විහිදුණු දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු 14,000කට අධික සංඛ්‍යාවක් දායක කර ගන්නා බවද ඔහු පැවසීය.මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවත්, ඒ වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













