උතුරු පළාතේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කෙටි කාලීන විසඳුම් වෙනුවට ප්‍රායෝගික හා ස්ථිර විසඳුම් ලබාදීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. යාපනයේ පැවති උතුරු පළාත් ධීවර එකමුතුවේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
නීතිවිරෝධී මසුන් ඇල්ලීම, ඉන්දියානු ට්‍රෝලිං (Bottom Trawling) ක්‍රම සහ කරමල් දැල් ගැටලු නියාමනය කිරීමට අවශ්‍ය නව නීති කෙටුම්පත් සකස් කර අවසන් අනුමැතිය සඳහා යොමු කර ඇත.
ශ්‍රී ලංකා–ඉන්දියා ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වේ. ආලෝක භාවිතයෙන් සිදුකරන නීතිවිරෝධී මසුන් ඇල්ලීම ඇතුළු ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.ජපාන රජයේ ආධාර යටතේ නවීන පහසුකම් සහිත ගලවා ගැනීමේ (Rescue) යාත්‍රා දෙකක් මේ වසරේ ලැබීමට නියමිත අතර, යාත්‍රා සඳහා නිරීක්ෂණ උපකරණ සවි කිරීමට නාවික හමුදාව සමඟ සාකච්ඡා පවත්වයි.දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම, නව යාත්‍රා ලබාදීම සහ පීඩාවට පත් ධීවරයන්ට වන්දි මුදල් හා ආම්පන්න ලබාදීම දැනටමත් සිදුකර ඇත.කුඩා ධීවර යාත්‍රා සඳහා මාස තුනක කාලයක් මසකට ලීටර් 25 බැගින් භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන අතර, විශාල යාත්‍රා සඳහා පවතින සහනාධාර ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ආර්ථික හානි අවම කිරීමට විශේෂ ආරක්ෂණ වැඩසටහන් සකස් කෙරේ. ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට නෝර්වේ සහ ජපානයේ සහයෝගය ලබාගැනීමට පියවර ගනිමින් සිටී.මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති හේතුවෙන් කුඩා පරිමාණ ධීවරයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.
















