27 April 2024
#දේශීය

රසායනික පොහොර වලින් ගොවීන්ව රැක ගත යුතු බව ආණ්ඩුකාර අනුරාධා කියයි

කාබනික වගාව සදහා යොමු වන ගොවීන් රසායනික පොහොර සමාගම් විසින් ආක්‍රමණය කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය කියා සිටියේ මෙම පොහොර සමාගම් වල මාෆියාවට යටවීම නිසා ගොවීන් ද වස විසෙන් තෙර වගාවන්ට පෙළඹීමට දැඩි අකමැත්තක් දක්වන බවයි.

ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියේ ඊයේ (12) පෙරවරුවේ සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනට සමගාමීව නැගෙනහිර පළාතේ කාබනික වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන හමුවේ දීය.

මේ අතර කාබනික පොහොර පළාතේ ඇති සත්ව ගොවිපොළවල් තුළ නිෂ්පාදනය කර ගොවීන්ට ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙසද ආණ්ඩුකාරවරිය බලධාරින්ට නියෝග කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය “අපි පළාතක් හැටියට කාබනික පොහොර වගාව ප්‍රචලිත කරමින් කෘෂිකර්මාන්තයේ නියැලෙන බව පෙන්වමින් මුළු රටටම ආදර්ශයක් දීම සදහා කටයුතු කළ යුතුයි. එය අප කිසිවෙකුටත් තනිව කළ හැකි දෙයක් නොවේ. සියලු දෙනාගේ සහය මේ සදහා අවශ්‍යයි. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මෙය සාර්ථක කරගැනීමට ලොකු වගකීමක් තියෙනවා. ගොවීන්ට කාබනික පොහොර ලබා දීමේ වගකීම අපි ගන්න ඕනේ. අපේ සියලු සත්ව ගොවිපළවල් තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා කෙසේ හෝ අපි මේ කටයුත්ත සාර්ථක කරගන්න ඕනේ. කන්තලේ ප්‍රදේශයේ වී ගොවීන් විශාල පිරිසක් කාබනික වගාවට යොමු වෙලා තියෙනවා. එහි වැඩි අස්වැන්නක් ලැබුනහොත් තවත් ගොවීන් මෙයට වැඩි උනන්දුවක් දක්වනවා. පළාතක් හැටියට අපේ කෘෂිකර්මය දියුණු කරන්න ඒකෙන් පුළුවන් ” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී,වනිගසේකර, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, කෘෂිකර්ම ලේකම් කේ.සිවනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

මාතලේ – මහෙෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *