ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් පරිවර්තන සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය වන GovTech Sri Lanka (Pvt) Ltd හි නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස ෂෙවන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඔහු 2026 අගෝස්තු 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ වැඩකටයුතු භාර ගැනීමට නියමිතය. රාජ්‍ය අංශයේ මෙහෙයුම් නවීකරණය කිරීම සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මීළඟ අදියර ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත.
දේශීය මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් බහුල නායකයෙකු වන ෂෙවන් ගුණතිලක මහතා, මීට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන MillenniumIT ESP හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව WSO2, Deutsche Telekom සහ Virtusa වැනි ලොව සුප්‍රකට සමාගම්වල ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති ඔහු, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් SLASSCOM ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.
ෂෙවන් ගුණතිලක මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු පද්ධති සහ පරිගණකකරණය පිළිබඳ විද්‍යාාවේදී (ගෞරව) උපාධියක් ද, ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සාමාර්ථ සහිතව MBA උපාධියක් ද ලබා ඇති අයෙකි. ඔහුගේ නායකත්වය යටතේ මෙරට ජාතික ඩිජිටල් පොදු සේවාවන් පුළුල් කිරීම, වඩාත් ආරක්ෂිත රාජ්‍ය දත්ත පද්ධති ස්ථාපිත කිරීම සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වඩාත් වේගවත් වනු ඇතැයි GovTech ශ්‍රී ලංකා ආයතනය බලාපොරොත්තු වේ.
















