ග්‍රීන්ලන්තය (Greenland) කෙරෙහි වැඩි බලපෑමක් ඇති කර ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දක්වන අභිලාෂයට විරෝධය දැක්වීම සඳහා, ග්‍රීන්ලන්ත වැසියන් සිය ගණනක් අද (22) එරට අගනුවර වන නූක් (Nuuk) හි පිහිටි නව ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවල නිරත වූ බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම උණුසුම් තත්ත්වයට හේතු වූ පසුබිම මෙසේය:
ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෙෆ් ලැන්ඩ්‍රි (Jeff Landry) සිය ප්‍රථම නිල සංචාරය සිදු කර සතියක් ගත වන තැන මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. ඔහුගේ මෙම පැමිණීමත් සමඟ අමෙරිකාව ග්‍රීන්ලන්තය කෙරෙහි දක්වන භූ-දේශපාලනික උනන්දුව තවදුරටත් ඉහළ ගොස් ඇති බවට වැසියන් අතර සැකයක් මතුව ඇත.
විරෝධතාවය සංවිධානය කළ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන ෆොන්ටේන් (Fontain) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “ග්‍රීන්ලන්තය යනු සල්ලිවලට විකිණීමට තිබෙන තැනක් නොවන බව අපගේ රජය දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට පැහැදිලිව පවසා තිබෙනවා” යනුවෙනි. ආක්ටික් කලාපයේ පවතින උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් අමෙරිකාව දිගු කලක සිට ග්‍රීන්ලන්තය වෙත සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව විදේශීය ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














