ලොව පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවකින් බලාසිටි Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාවේ පූර්ව විකුණුම් (Pre-sales) කටයුතු එළඹෙන ජූනි 25 වැනිදා සිට ආරම්භ කරන බව එහි සංවර්ධක සමාගම වන Rockstar Games නිවේදනය කර තිබේ.PlayStation Store සහ තෝරාගත් සිල්ලර වෙළෙඳ ජාල හරහා මෙම පූර්ව ඇණවුම් සිදුකළ හැකි වේ. විවිධ හේතු මත ප්‍රමාද වූ මෙම ක්‍රීඩාව, PlayStation 5 සහ Xbox Series X/S කොන්සෝල සඳහා එළඹෙන නොවැම්බර් 19 වැනිදා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය. ක්‍රීඩාවේ නිල මිල ගණන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, සමහර වාර්තා පෙන්වා දෙන්නේ මෙය ඩොලර් 100ක මිලකට වෙළෙඳපොළට පැමිණිය හැකි බවයි.
පෙර-ඇණවුම් දිනයට සමගාමීව, තත්පර 30ක කෙටි වීඩියෝවක් මගින් ක්‍රීඩාවේ නිල කවරය ද එළිදක්වා ඇත. ක්‍රීඩාවේ ප්‍රධාන චරිත වන ජේසන් (Jason) සහ ලුසියා (Lucia) ගේ රුව ඇතුළත් මෙම කවරය, GTA මාලාවටම ආවේණික වූ පොප්-ආර්ට් ශෛලියෙන් සහ විචිත්‍රවත් වර්ණයෙන් නිර්මාණය කර ඇත. ක්‍රීඩාවට පාදක වන ප්‍රබන්ධ ප්‍රාන්තයක් වන ‘ලියොනිඩා’ (Leonida) හි ස්වභාවය විදහා දැක්වීම සඳහා ෆ්ලෙමින්ගෝ පක්ෂීන්, අලිගේටර් උරඟයින් මෙන්ම අධිවේගී මෝටර් රථ සහ හෙලිකොප්ටර් ද කවරයට ඇතුළත් කර තිබේ.
GTA 5 නිකුත් වී වසර ගණනාවකට පසු පැමිණෙන මෙම නවතම ක්‍රීඩා සංස්කරණය, රසිකයින් අතර දැඩි බලාපොරොත්තු දල්වා ඇති අතර, මීට පෙර නිකුත් කෙරුණු ට්‍රේලර් ද්විත්වය මේ වන විට මිලියන 446ක නැරඹුම් වාර පසුකර තිබීම ද විශේෂත්වයකි.
















