ආර්ජන්ටිනාවේ දැනට පවතින අනිවාර්ය ප්‍රාථමික මැතිවරණ (Mandatory Primary Elections) ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කිහිපයක් අඩංගු මැතිවරණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතක් හෙට (බදාදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති ජේවියර් මිලෙයි ඊයේ ප්‍රකාශ කළේය.
ආර්ජන්ටිනාවේ මහා මැතිවරණයකට පෙර පවත්වනු ලබන අනිවාර්ය ප්‍රාථමික මැතිවරණ ක්‍රමය (PASO) ඉවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙමගින් මැතිවරණ සඳහා වැයවන දැවැන්ත පිරිවැය ඉතිරි කර ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.
දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා ගන්නා ආකාරය සහ ඒවා වියදම් කරන ආකාරය පිළිබඳ පවතින නීති රීති සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ද මෙම පනත මගින් යෝජනා කර තිබේ.
කිසියම් අපරාධයකට වරදකරු වී දඬුවම් නියම වූ පුද්ගලයන්ට (Criminal convictions) රජයේ නිලතල දැරීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් වීම මෙම නව පනත මගින් සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනු ඇත.
පසුගියදා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ ජනාධිපති මිලෙයි, එරට බාර්-ඉලාන් (Bar-Ilan) විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීය. ඉන් අනතුරුව සිය රටට පැමිණි ඔහු මෙම තීරණාත්මක දේශපාලන පියවර ගෙන තිබේ.














