හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නවාතැන්පොළකට එල්ල වූ ප්‍රබල අකුණු ප්‍රහාරයකින් මියගිය තරුණියගේ මරණයට සෘජු හේතුව අකුණු සැර වැදීම නොව, ගොඩනැගිල්ලේ සුන්බුන් හිස මත පතිත වීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මියගොස් ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කළ 26 හැවිරිදි ඉමාෂා මධුභාෂණී හිතවංශ නමැති තරුණියකි. අකුණු සැර වැදීමත් සමඟ නවාතැන්පොළේ ගොඩනැගිල්ලට සිදු වූ හානිය හේතුවෙන් කඩා වැටුණු කොන්ක්‍රීට් හෝ ගඩොල් සුන්බුන් හිසෙහි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල මරණයට හේතු වී ඇත. අකුණු සැර ඇගේ සිරුරට සෘජුවම ස්පර්ශ වී නොමැති බව පරීක්ෂණ නිලධාරීහු තහවුරු කරති.
පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා, අනතුර සිදුවීමට පෙර දින නිවස බලා යාමට සූදානම්ව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් ගමන නතර කර තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමඟ කාමරයේ සිටි අනෙක් තරුණිය ද තුවාල ලබා මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම අකුණු පහර කොතරම් ප්‍රබල වීද යත්, නිවසේ තිබූ විදුලි උපකරණ පවා පිළිස්සී ගොස් තිබුණි. 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් රෝහලට රැගෙන එන විටත් ඉමාෂා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.














