හයිටි රාජ්‍යය පුරා ව්‍යාප්ත වෙමින් පවතින සන්නද්ධ කල්ලි ප්‍රචණ්ඩත්වය, ජනතාව අවතැන් වීම සහ පවතින දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් එරට මිලියන 6කට ආසන්න පිරිසක් ඉදිරි මාස කිහිපය තුළ දරුණු ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දෙනු ඇති බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි. ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා වර්ගීකරණය (IPC) විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාවකට අනුව, හයිටි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් එනම් මිලියන 5.8ක් පමණ මෙලෙස ආහාර හිඟයකට මුහුණ දී සිටිති.ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටින පිරිස අතරින් මිලියන 1.8ක් පමණ “හදිසි අවස්ථා” (Emergency Phase) මට්ටමේ පසුවන අතර, ඔවුන්ට වහාම ආහාර ආධාර අවශ්‍යව තිබේ. සන්නද්ධ කල්ලි විසින් රටේ විවිධ ප්‍රදේශවල බලය ව්‍යාප්ත කිරීම නිසා වෙළඳපොළ පද්ධතිය සහ ගොවිතැන් කටයුතු අඩාල වීම මීට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට පුද්ගලයන් මිලියන 1.4කට අධික පිරිසක් උන්හිටිතැන් අහිමිව අවතැන්ව සිටීම නිසා ආහාර සැපයුම් ජාලයන්ට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.කෙසේ වෙතත්, ලැබෙන ආහාර ආධාර, උද්ධමනය යම් මට්ටමකට පහළ යාම සහ ඇතැම් ප්‍රදේශවල අස්වනු නෙළීමේ තත්ත්වය යහපත් වීම නිසා මෙම අගය පෙර ඇස්තමේන්තුවලට වඩා සුළු වශයෙන් පහත වැටී ඇති බව ද නියෝජිත ආයතන පෙන්වා දෙයි. එසේ වුවද, හයිටි රාජ්‍යය පවතින දරුණු මානුෂීය අර්බුදයෙන් මුදා ගැනීමට අඛණ්ඩ ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වන බව එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.














