2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325 දෙනෙකුගෙන් යුත් ප්‍රථම වන්දනා නඩය ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගොස් තිබේ.
මෙම ගමන සඳහා සෞදියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එස්.වී.- 839 දරන එම ගුවන් යානය ඊයේ රාත්‍රී 09.05ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.
මෙම පිටත්වීමේ අවස්ථාව සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
2026 වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3,500 දෙනෙකු තෝරාගෙන තිබේ. ඔවුන් සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවා යානා මගින් ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතය.














