ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත, විශේෂයෙන්ම අලි ඇතුන් සහ වල් ඌරන් වැනි අහිංසක සතුන් දරුණු ලෙස පීඩාවට පත් කරන “හක්කපටස්” නමින් හැඳින්වෙන කෑමට සකස් කළ පිපිරුම් උගුල් හේතුවෙන් සිදුවන පාරිසරික ව්‍යසනය තවමත් මෙරට නතර වී නැත. මෙම මිනීමරු උගුල් නිසා කට, හකු පෙදෙස් සහ උගුර සුන් වී, දින ගණනාවක් දැඩි වේදනා විඳිමින් අසීරු ලෙස මියයන සතුන් පිළිබඳ පුවත් නිතර අසන්නට ලැබීම දැඩි කණගාටුදායක තත්ත්වයකි.
මෙම මරු ව්‍යසනයට තිත තැබිය හැක්කේ හක්කපටස් සකස් කරන්නන්ට, ළඟ තබා ගන්නන්ට සහ අලෙවි කරන්නන්ට එරෙහිව ඇප නැති දැඩි දඬුවම් ලබා දීම, වනජීවී හා පොලිස් අංශ එක්ව විශේෂ වැටලීම් අඛණ්ඩව සිදු කිරීම සහ වනජීවීන් සමඟ එකිනෙකාට හානියක් නොවන අයුරින් ජීවත්වීමේ වැදගත්කම පිළිබඳ ගම්වාසීන් සහ ප්‍රජාව දැනුවත් කිරීමෙනි. සතෙකුගේ ජීවිතය අහිමි කරන මේ අමානුෂික අපරාධයට සදහටම තිත තැබිය හැක්කේ සමාජයේ හෘදසාක්ෂිය නැවත පිබිදීමෙන් සහ නීතියේ දැඩි රැකවරණය හරහා පමණක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.
















