පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුරුතවෙල ජලාශය, කැකිරිඔය ජලාශය සහ ඌරුබොක්ක ඔය ඇතුළු ජලාශ හා වැව් අමුණු සිඳීයාම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබේ.
මෙවර පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණ වූ පරිදි, නවයාල්ගොඩ වැවට පසුගිය ජුනි මාසයේ ගලා ආ ජලය නිසි පරිදි රඳවා ගැනීමට කටයුතු කළේ නම් මෙම තත්ත්වය වළක්වාගත හැකිව තිබූ බව වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් යූ. මදුවාගොඩ මහතා පවසා ඇත. මේ වන විට තංගල්ල, වලස්මුල්ල, ඕකෙවෙල, වීරකැටිය සහ කටුවන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට මෙම ගැටලුව බලපා ඇති අතර, මාතර දිස්ත්‍රික්කයේ දෙනගම ජලාශයෙන් ජලය ලබාගැනීම ඇතුළු තාවකාලික විසඳුම් මඟින් ජල කළමනාකරණ කටයුතු සිදු කරමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
















