හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට අවධානය යොමු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 13 වැනිදා රෝහල් ශ්රවණාගාරයේදී පැවැත්වුණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ ලක්ෂ හතකට ආසන්න ජනතාවකට සෞඛ්ය සේවා සපයන මෙම රෝහලේ ඇඳන් ධාරිතාව 979කි. රෝහලේ යටිතල පහසුකම්, මානව සම්පත්, වෛද්ය උපකරණ සහ රෝගී සත්කාර සේවාවන්ට බලපාන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
වකුගඩු රෝගීන් සඳහා නව ප්රතිකාර ඒකකයක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර, හෘද කැතීටකරණ ඒකකයක්, හදිසි අනතුරු හා හදිසි ප්රතිකාර ඒකකයක්, අධිකරණ වෛද්ය නිලධාරී කාර්යාලයක් සහ දරුවන් සඳහා ඔටිසම් ප්රතිකාර මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්යතා ද සලකා බැලීමට යෝජනා වී ඇත.
එසේම බාහිර රෝගී අංශයේ සහ සායනවල සේවා ඩිජිටල්කරණය, නවීන වෛද්ය උපකරණ සැපයීම, කාර්ය මණ්ඩල නිල නිවාස හා නේවාසිකාගාර වැඩිදියුණු කිරීම සහ පවතින මානව සම්පත් පුරප්පාඩු පිරවීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. අක්ෂි ශල්යකර්ම ඇතුළු ශල්යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අවශ්යතාව ද සාකච්ඡා වී ඇත.
මේ අතර, හම්බන්තොට පැරණි රෝහල් පරිශ්රයේ රුපියල් මිලියන 640ක පිරිවැයක් යටතේ ස්ථාපිත කරමින් පවතින ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්රයේ කටයුතු පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා නිරීක්ෂණය කර තිබේ. රුපියල් මිලියන 240ක පිරිවැයක් යටතේ සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්රයක් සහ බ්රැකිතෙරපි (Brachytherapy) යන්ත්රයක් ද එම පරිශ්රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම යන්ත්ර ස්ථාපිත කිරීමෙන් හම්බන්තොට සහ අවට ප්රදේශවල පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර සේවා වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රෝහලේ සමස්ත සංවර්ධන සැලැස්මක් යටතේ පහසුකම් පුළුල් කරමින්, රෝගීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.















