අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ‘එම්.වී. හොන්ඩියස්’ (MV Hondius) නම් සංචාරක නෞකාවක පැතිර ගිය භයානක හන්ටා වෛරසය (Hantavirus) හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ පුද්ගලයින් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.
මෙම නෞකාවට වෛරසය ඇතුළු වන්නට ඇතැයි සැක කරන්නේ ආර්ජන්ටිනාවේදී කුරුල්ලන් නැරඹීමට ගිය සංචාරක යුවළක් මාර්ගයෙනි. සාමාන්‍යයෙන් මීයන්ගේ මුත්‍රා, මළපහ හෝ කෙළ සමඟ ස්පර්ශ වීමෙන් මෙම වෛරසය මිනිසාට බෝ වේ. මෙහිදී ව්‍යාප්ත වී ඇත්තේ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි ‘ඇන්ඩීස් ප්‍රභේදය’ (Andes virus) බව හඳුනාගෙන ඇති අතර එහි මරණ අනුපාතය 40% ක් තරම් ඉහළ අගයක් ගනී.
රෝග ලක්ෂණ ලෙස උණ, අධික තෙහෙට්ටුව, මාංශ පේශි වේදනාව, වමනය සහ පාචනය මූලිකව හඳුනාගත හැක. රෝගය උත්සන්න වූ විට පෙනහළුවල දියර පිරීම සහ හෘදයාබාධ ඇති විය හැකි වුවද, මේ දක්වා හන්ටා වෛරසය සඳහා නිශ්චිත එන්නතක් හෝ සුව කළ හැකි ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් ප්‍රකාශ කර ඇත්තේ මෙම වෛරසය කොවිඩ්-19 මෙන් වේගයෙන් ව්‍යාප්ත නොවන බැවින් දැනට ලෝකයට ඇති අවදානම අවම මට්ටමක පවතින බවයි.














