හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර්ට එරෙහිව එල්ල වී ඇති බීමත්ව රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වගකීම භාර ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ. පාස්කු නිවාඩු කාලය තුළ සිඩ්නි නුවරදී සිදුකළ හදිසි හුස්ම පරීක්ෂාවකදී ඔහු මධ්‍යම ප්‍රමාණයේ මත්පැන් ප්‍රමාණයක් ලබාගෙන සිටි බවට තහවුරු වී ඇති අතර ඔහුගේ රුධිරයේ මත්පැන් සාන්ද්‍රණය 0.104ක් ලෙස සටහන් වී ඇත. වෝනර්ගේ නීතිඥ බොබී හිල් පවසන්නේ මෙය ඔහුගේ සේවාදායකයා විසින් ගනු ලැබූ ඉතා අනුවණ සහ වැරදි සහගත තීරණයක් බවයි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා එදින මිතුරෙකුගේ නිවසක වයින් වීදුරු තුනක් පමණ පානය කර ඇති බවයි. රිය පැදවීම වෙනුවට කුලී රථයක් (Uber) ලබා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු රිය පැදවීමට තීරණය කිරීම විශාල අත්වැරැද්දක් බව පෙන්වා දුන් නීතිඥවරයා, වෝනර් සිය වරද පිළිගෙන ඊට වගවීමට සූදානම් බව අවධාරණය කළේය. පුද්ගලයෙකුගේ වයස, බර සහ ආහාර ලබාගත් ආකාරය අනුව මත්පැන් සාන්ද්‍රණය වෙනස් විය හැකි බැවින් තමන්ම තීරණය කර රිය පැදවීම අනතුරුදායක බව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
ඩේවිඩ් වෝනර් අද දින පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නඩුව වැඩිදුර විමසීම සඳහා ලබන ජුනි මස 24 වනදා දක්වා කල් තබා තිබේ. පරීක්ෂණ සිදුකළ උපකරණවල දෝෂයක් හේතුවෙන් දෙවන පරීක්ෂණය සිදු කිරීමට විනාඩි 52ක පමණ ප්‍රමාදයක් සිදු වූ බවත් එමගින් අවසන් වාර්තාවට සිදුවූ බලපෑම පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින බවත් නීතිඥවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් වෝනර් මෙම ගැටලුව ඉක්මනින් අවසන් කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.














