හපුතලේ, දඹේතැන්න පාරේ පිහිටි ෆාමසියක් (ඔසුසලක්) තුළ කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීම සහ ඒවායේ සටහන් කර තිබූ මිල ගණන් වෙනස් කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ හදිසි වැටලීමකදී අනාවරණය කරගෙන තිබේ. ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී අදාළ ඔසුසල තුළ පාරිභෝගික නීති රීති උල්ලංඝනය කරමින් සිදුකර තිබූ බරපතළ වංචාවන් කිහිපයක්ම නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
එහිදී අදාළ ෆාමසිය මඟින් කල් ඉකුත් වූ ඖෂධ දිගින් දිගටම අලෙවිය සඳහා තබා තිබී ඇති අතර, පාරිභෝගිකයන් මුළා කරමින් එම කල් ඉකුත් වූ ඖෂධවල මුද්‍රිත මිල ගණන් මකා දමා වෙනත් ඉහළ මිල ගණන් ප්‍රදර්ශනය කරමින් විකුණා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම ක්‍රියාව පාරිභෝගිකයා සූරාකෑමක් පමණක් නොව මහජන සෞඛ්‍යයට ද බරපතළ තර්ජනයක් වන බැවින් ඔසුසල සන්තකයේ තිබූ නීතිවිරෝධී ඖෂධ තොගය වහාම පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගත්හ. සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.
ඕනෑම ඖෂධයක් මිලදී ගැනීමට පෙර එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය සහ මුද්‍රිත මිල නිවැරදිව පරීක්ෂා කරන ලෙසත්, මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම මුදල් රිසිට්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුවන්නේ නම් කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස ද පාරිභෝගිකයන්ට වැඩිදුරටත් දැනුම් දෙයි.














