අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් **’හරක් කටා’** ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වැනි දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා නියම කර තිබේ.
අදාළ නඩුව අද (03) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට මීට පෙර ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබීම හේතුවෙන්, මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රැඳවුම් භාරයේ පසුවන ‘හරක් කටා’ නමැති විත්තිකරු සුදුසු වෙනත් බන්ධනාගාරයක රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇත.














