දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් **යෝෂිත රාජපක්ෂ** සහ හිටපු නාවික හමුදාපති **වසන්ත කරන්නාගොඩ** යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2006 සැප්තැම්බර් 01 සහ 2007 ජූනි 08 අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ නමැත්තාට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ (Royal Navy Young Officers Course) පාඨමාලාව සඳහා අයුතු ලෙස සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා එල්ල කර ඇත. එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිවද චෝදනා ගොනු කර තිබේ.
මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා 8ක් යටතේ මෙම අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති අතර, චෝදනා භාරදීම සඳහා ඉදිරියේදී ඔවුන්ට අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතය.













