සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කර දීම සහ ඔහුට සහන ලබා දීම සඳහා පවසා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්‍ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ලබන ජූලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (25) නියෝග කළේය.
සිද්ධියෙහි පසුබිම සහ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටියදී, ඔහුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා, පසුව එය කෝටි 20 දක්වා අඩු කර, ඉන් අත්තිකාරමක් ලෙස කෝටි 12ක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. මෙම මුදල් වාරික දෙකකින් ‘උන්ඩියල්’ ක්‍රමය හරහා ලබාගෙන ඇති අතර, තෙවැනි සැකකරු වන අරුණ ශ්‍රී චතුරංග එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත. පොරොන්දු වූ පරිදි සහන නොලැබුණු හෙයින්, ලබාදුන් මුදලින් කෝටි 2ක් මිදිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මාර්ගයෙන් නැවත ලබාගෙන ඇත. මෙම ගනුදෙනුව සඳහා ඩුබායි රාජ්‍යයේදී සැකකරුවන් සහ හරක් කටාගේ බිරිඳ අතර සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු අනුව අල්ලස් මුදල් ලබාගැනීමෙන් පසු සැකකරුවන් අසාමාන්‍ය ලෙස වත්කම් උපයාගෙන ඇත. චරිත් අබේසිංහ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ නව නිවසක් සඳහා ආයෝජනය කර ඇති අතර, රඛිත රාජපක්ෂ මාලබේ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඉදිකරමින් සිටී. සැකකරුවන්ගේ දුරකතන සංවාද පටිගත කිරීම් ඇතුළු ප්‍රබල විද්‍යුත් සාක්ෂි සහ හරක් කටා ලබාදුන් ප්‍රකාශයන් මගින් චෝදනා තහවුරු වන බව කොමිසම පෙන්වා දුන්නේය.
විත්තියේ තර්ක සහ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙය දේශපාලන පළිගැනීමක් බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරු ඇප ඉල්ලා සිටියහ. රඛිත රාජපක්ෂ ‘Sleep Apnea’ නමැති බරපතළ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත්, චරිත් අබේසිංහ හෘද රෝගියකු බවත් දන්වමින් ඔවුන් බන්ධනාගාරගත කිරීම ජීවිත අවදානමක් බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ සහතිකය සහ චෝදනාවේ බරපතළකම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
















