රජයේ සුභසාධක දීමනා ලබා දීමේ ක්‍රියාවලිය තොරතුරු පද්ධතිගත කිරීම හරහා වඩාත් විධිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් සපයන ලද ප්‍රධාන තොරතුරු පහත දැක්වේ.
තොරතුරු පද්ධතිගත කිරීම මගින් නිවැරදි ප්‍රතිලාභීන් හඳුනා ගැනීම, දත්ත කළමනාකරණය, රජයේ මුදල් නිසි ලෙස භාවිත කිරීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. මෙවැනි පද්ධතිගත කිරීම් මගින් හදිසි ආපදා වැනි අවස්ථාවලදී ප්‍රතිලාභීන් වෙත සහන සැලසීම වඩාත් පහසු වේ.
ආබාධිත තැනැත්තෙකු වීම සහ පවුලේ මාසික ඒක පුද්ගල ආදායම රුපියල් 16,191ට වඩා අඩු වීම මෙහි සුදුසුකම වේ. දැනට තැපැල් කාර්යාල හරහා සිදු කෙරෙන මෙම ගෙවීම්, ඉදිරියේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙතම සෘජුවම ලබා දීමට අපේක්ෂා කෙරේ. ජුනි මාසය වන විට පුද්ගලයන් 175,684කට ආබාධිත දීමනා ලබා දී ඇත. වකුගඩු රෝගී දීමනා සඳහා රුපියල් 10,000ක් ලබා දෙන අතර ජුනි මාසයේදී ප්‍රතිලාභීන් 53,013ක් එය ලබාගෙන තිබේ. අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලැබේ.
2023 වසරේදී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට අධික පිරිසකට මෙම දීමනා හිමි විය. සංක්‍රාන්තික කාණ්ඩයේ (315,000ක්) සහ අවදානමට ලක්වූ කාණ්ඩයේ (425,000ක්) ප්‍රතිලාභීන්ගේ දීමනා පිළිවෙළින් අප්‍රේල් සහ ජුනි මාසවලදී නතර කරන ලදී. කෙසේ වෙතත්, මෙම කාණ්ඩවල සිටින පවුල් අතරින් යම් පවුලක් මේ වන විට දුප්පත් හෝ අන්ත දිළිඳු මට්ටමට පත්ව ඇත්නම්, ඔවුන්ට නැවත ප්‍රතිලාභ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව පවතී. 2027 ජූනි දක්වා අස්වැසුම දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා පමණි.
වර්තමානයේ රට පුරා ප්‍රතිලාභී තොරතුරු යාවත්කාලීන කිරීමේ සංගණන කටයුතු සිදු කෙරේ. ජූනි 30 වන විට සංගණන කටයුතු අවසන් කිරීමටත්, ජූලි 31 වන විට ප්‍රතිලාභීන්ගේ පළමු නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමටත් සැලසුම් කර ඇත. එම ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසු දින 10ක කාලයක් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට අවස්ථාව හිමි වේ. අගෝස්තු 31 වන විට අදාළ මුදල් නිකුත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
















