කූට ලේඛන සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වූයේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවකට අදාළව, තමන්ව සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ නොකර විවෘත අධිකරණය හමුවට පෙනී සිටීමට නියෝගයක් නිකුත් කරන්නැයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් “හරක් කටා” කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (18) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර හරක් කටා රඳවා තබාගෙන සිටින බන්ධනාගාරයේ සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ වෙමින් මෙම සෘජු ඉල්ලීම සිදු කළේය. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවධාරණය කර සිටියේ, තමන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරයා මාර්ගයෙන් විධිමත් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඉදිරි විභාගයන්හිදී සැකකරු අධිකරණයට භෞතිකව ඉදිරිපත් කිරීමේ අත්‍යවශ්‍යතාවක් මතු වුවහොත්, ඊට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණය කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.
මෙම නඩු විභාගය සඳහා සාක්ෂි ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ (Department of Immigration and Emigration) නිලධාරිනියක අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉදිරි නඩු වාරයේදී ද සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කළේය. ඒ අනුව, සිද්ධියට අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජුනි මස 23 වන දින නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














