මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියම අරමුණු දැන් ඉටු වෙමින් පවතින බවත්, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ගල්ලැන්ගොල්ල මූලමහා විහරයේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් කෝටි 18ක (මිලියන 185ක) මුදලක් වෙන් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදනවලින් විතරක්ම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරනවා. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා මධ්‍යම සංස්කෘතික අරමුදල එකතු වෙලා, කුණාටුවෙන් හානි වුණු උඩුනුවර, වෙලැම්බොඩ, ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූල්මහා විහරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (19) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා. මෙම කටයුතු ආරම්භ කෙරුණේ විහාරාධිපති ශාස්ත්‍රවේදි අඹන්පොල සරද නායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත නොකර හරියට එකතු වුණා නම් විශාල වැඩකොටසක් කරන්න පුළුවන් බව මින් පැහැදිලි වන බවයි. රජය මුදල් රැස් කරන්නේ මහා භාණ්ඩාගාරයේ තියාගන්න හෝ වෙනත් අරමුණුවලට නොව, ජනතාවට නැවත ප්‍රතිලාභ දෙන්න බව පැවසූ ඇය, දිට්වා ආපදාව වෙනුවෙන් රජය මිලියන 500ක් වෙන් කර ඇති බවත්, නිවාස 15,000ක් ඉදිකරන්න කටයුතු කරන්නේ ණය අරගෙන නොවන බවත් අවධාරණය කළා. රටක් විදිහට බලාපොරොත්තු වන පරිවර්තනීය යුගයට යන්න ආර්ථිකය විතරක් නෙමෙයි අපේ උරුමයන්, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි හැම අංශයක්ම සංවර්ධනය කළ යුතු බවත්, ගල්ලැන්ගොල්ල විහාරය සංරක්ෂණය කිරීමෙන් මුළු ප්‍රදේශයම ආරක්ෂා වී සංවර්ධනය වන බවත් ඇය පෙන්වා දුන්නා.
මේ අවස්ථාවට එක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ, දිට්වා සුළි කුණටුවෙන් ආපදාවට පත් ආගමික ස්ථාන අතරින් ප්‍රධාන තැන් 7ක් ප්‍රතිසංස්කරණය කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 504ක් වෙන් කළ බවයි. එයින් වැඩිම කොටස වන රුපියල් මිලියන 185ක්ම වෙන් කළේ මෙම ගල්ලැන්ගොල්ල විහාරස්ථානයට බවත්, ඒ සියලු මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලේම ප්‍රතිපාදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළා.
















