රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,480ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ ආශ්‍රිත මරණ සංඛ්‍යාව 28කි.
පාසල්, රජයේ ආයතන, කර්මාන්තශාලා සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කීට විද්‍යාත්මක සමීක්ෂණ මගින් මදුරුවන් බෝ වන ස්ථාන විශාල සංඛ්‍යාවක් දැනටමත් හඳුනාගෙන ඇත. උණ රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස දෙමාපියන්ට දැඩිව උපදෙස් දෙනු ලැබේ. තවද, පාසල් පරිශ්‍රයන්හි ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා තම නිවෙස්, සේවා ස්ථාන සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීම මහජනතාවගේ වගකීමක් බව සෞඛ්‍ය බලධාරීන් සිහිපත් කරති.
















