විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාව තහවුරු කිරීම සඳහා ඇතුළත් කර ගැනීමේ අධ්‍යාපනය (Inclusive Education) ශක්තිමත් කිරීමේ සහ චිකිත්සකවරුන් (Therapists) හා වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා දීමේ දැඩි අවශ්‍යතාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කර තිබේ.
වෙනිවැල්කොළ පිහිටි ජාතික විශේෂ සහ ඇතුළත් කර ගැනීමේ අධ්‍යාපන ආයතනය වන “ශිෂ්‍යෝදය” වෙත කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි පිරිසක් වන බැවින් ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය. දරුවන් අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමටත් දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජය දැනුවත් කිරීමේ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද ඇය අවධාරණය කළාය.
මූලික ප්‍රමිතීන්ට සහ ඇතුළත් කර ගැනීමේ අධ්‍යාපන සැලසුම්වලට පරිබාහිරව 2019 වසරේ ආරම්භ කරන ලද මෙම ආයතනය, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන සහ ඇතුළත් කර ගැනීමේ ඉගෙනුම් අරමුණු ඉටු කරන ආයතනයක් බවට පරිවර්තනය කළ යුතු බව අගමැතිනිය සඳහන් කළාය. එහි සංවර්ධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙසද ඇය යෝජනා කළාය.
චිකිත්සකවරුන් සහ සායනික සේවා සපයන්නන්ගේ හිඟය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවටත්, වෙන් කරන ලද අරමුදල් භාවිතා කරමින් උපකරණ සහ ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු කිරීම සහතික කරන බවටත් අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වූවාය. ස්ථිර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වුවද, කිසිදු ප්‍රමාදයකින් තොරව විසඳා ගත හැකි ගැටලු සඳහා වහාම මැදිහත් විය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
මෙම සංචාරයේදී ගුරු සුභසාධනය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එම ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයට සහයෝගය දැක්වීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කරනු ලැබීය.














