ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික හා විසා පාලන නීති දැඩි කිරීමේ පියවරක් ලෙස ලොව පුරා පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සහ කවුන්සිලර් කාර්යාලවල පැවැත්වීමට නියමිතව තිබූ වීසා සම්මුඛ පරීක්ෂණ වේලාවන් තාවකාලිකව අත්හිටුවීමට සහ නැවත කාලසටහන්ගත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ, ඇමරිකානු රජයේ මහජන සුබසාධන ප්‍රතිලාභ මත යැපීමට ඉඩ ඇති අයදුම්කරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා සිය කවුන්සිලර් නිලධාරීන්ට ලෝක මට්ටමේ විශේෂ පුහුණු වැඩසටහනක් ලබාදීමට කටයුතු යොදා ඇති අතර, එම පුහුණුව හේතුවෙන් මෙලෙස සම්මුඛ පරීක්ෂණ වේලාවන් වෙනස් කිරීමට සිදුවූ බවයි.
විශේෂයෙන්ම, සංක්‍රමණික වීසා අත්හිටුවීම සඳහා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් රටවල් 75 ක් ඉලක්ක කරගනිමින් පනවා තිබූ නියෝගය, ඔහුගේ බලතල ඉක්මවා යමින් පනවන ලද්දක් බවට තීන්දු කරමින් ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු විසින් අහෝසි කර දින කිහිපයකට පසුව ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම නව ගෝලීය තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.














