ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් කොළඹ හෝටලයක සංවිධානය කරන ලද 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් ඇය මේ බව සඳහන් කළාය. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ 2027–2029 කාල සීමාව තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
පාරිසරික සංරක්ෂණය සඳහා නීති රීති පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පරිසරය පිළිබඳ වගකීම අධ්‍යාපන පද්ධතිය තුළින්ම ගොඩනැගිය යුතු බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විෂය මාලාවට පාරිසරික අධ්‍යාපනය සහ චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද පැවසුවාය. අනාගත පරපුරට උරුම කළ යුත්තේ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව පිරිසිදු, හරිත පරිසරයක් බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















