සහකම්පනයෙන් (Empathy) යුතු වෛද්‍යවරයකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතු බව අගමැතිනි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පවසයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් පසුගිය 26දා හමුවූ අවස්ථාවේ අගමැතිනිය මේ බව අවධාරණය කළාය.
ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, වෛද්‍ය අධ්‍යාපනයේ සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ වත්මන් ගැටලු සඳහා කෙටිකාලීන හා තිරසර විසඳුම් යෝජනා කිරීම කමිටුවේ මූලික අපේක්ෂාවයි. වෛද්‍ය පීඨයන්හි විෂය මාලා ප්‍රතිසංස්කරණ, ඇගයීම් ක්‍රියාවලිය, සායනික පුහුණුව, වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගමැතිනිය ප්‍රකාශ කළාය.
වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට තෝරාගන්නා සිසුන්ට විවිධ පාඨමාලා සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. නව ලෝකයට ගැළපෙන මනා හික්මීමකින් හා සංයමයකින් යුත් වෛද්‍යවරයකු බිහිකිරීම සඳහා අවශ්‍ය වන සාමාන්‍ය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද මෙම කමිටුව හරහා සිදු විය යුතු බව අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















