ගෝලීය සහ කලාපීය ප්‍රවණතා මෙන්ම ඒවායින් එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ අවධානය යොමුව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා නවසීලන්තයේ සිදු කළ නිල සංචාරයකදී එරට විදේශ කටයුතු ඇමැති වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.
දෙරට අතර දේශපාලන, වෙළෙඳ, ක්‍රීඩා, රාජ්‍ය පාලනය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්විණි. විදේශ කටයුතු ඇමැතිවරයා නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ජෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී වෙළෙඳ, අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳව අවධානය යොමු විය. 2024 ජූලි මාසයේදී නවසීලන්ත සර්ව පාක්ෂික පාර්ලිමේන්තු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය ද කථානායකවරයා විසින් සිහිපත් කරන ලදී.
වත්මන් ගෝලීය හා කලාපීය ප්‍රවණතා සහ ඒවායින් ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට එල්ල වන බලපෑම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අදහස් හුවමාරු කරගෙන ඇත. දෙරට අතර පවතින සබඳතා අංශ රැසක් ඔස්සේ තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම නිල සංචාරය අවස්ථාවක් වී තිබේ.
















