කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බවත්, නගරයක් එහි ජීවත්වන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි ස්ථානයක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කර තිබේ.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක වන “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය කොළඹදී අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් විසින් මෙහිදී ව්‍යාපෘති සැලැස්ම අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වූ අතර, පළමු අදියර යටතේ මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගරවල පළාත් පාලන නියෝජිතයින් වෙත එම ව්‍යාපෘති සැලැස්ම ලබා දෙන ලදී. දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක් වෙන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පැවසීය.
















