රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණය මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම ව්‍යාපෘතිය හරහා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් ලෙස, සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කෙරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුළුණු පහ යටතේ මානව සම්පත් සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම පද්ධතිය නිර්මාණය කර ඇති අතර, මින් පෙර පළාත් මට්ටමින් විසිරී තිබූ තොරතුරු පද්ධති වෙනුවට ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු තනි ජාලයකට ගොනු කිරීම මෙහි විශේෂත්වයකි.
සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මින් ඉදිරියට මෙම පද්ධතිය හරහා සිදුවන අතර, එය ඉදිරියේදී දිවයින පුරා සහ සියලුම කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කෙරේ. ගුරු බඳවාගැනීම්, ස්ථාන මාරු සහ උසස්වීම් විනිවිදභාවයකින් සිදු කිරීමට මෙය මහෝපකාරී වේ. රජයේ සේවාවන් විනිවිදභාවයෙන් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වුවද, එය ගුරුවරයාට ආදේශකයක් නොව ගුරුවරයාගේ කාර්යභාරය ශක්තිමත් කරන මෙවලමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
ඊ-තක්සලාව (LMS) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන අතර, ඒ හරහා පහසුකම් අඩු පාසල්වල දරුවන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ, කාර්ය සාධක බලකායන්, පළාත් බලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කර ඇත.















