රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘර අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් හෙට (08) පෙරවරුවේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මත ඉකුත් පෙබරවාරි 25 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත පසුවන සුරේෂ් සලේ මහතාට වධහිංසා පමුණුවන බවට උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟ මෙම තත්ත්වය උණුසුම් විය. කෙසේ වෙතත්, පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි පහරදීමක් හෝ අමානුෂික සැලකීමක් සිදුකර නොමැති බව අවධාරණය කරයි.
මේ අතර සලේ මහතාගේ නීතිඥවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන ලෙස සලේ මහතා දැනුම් දී ඇති බවයි. එසේම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව පවසන නීතිඥවරුන්, ඔහුව පහසුකම් සහිත රෝහලකට යොමු කර ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් පරීක්ෂා කරන ලෙස ද ඉල්ලා සිටියි.
මේ වන විට සුරේෂ් සලේ මහතාට සෙත් පතා බෙල්ලන්විල රජමහා විහාරයේදී පිරිත් සඡ්ඣායනා සහ බෝධි පූජා පිංකම් මාලාවක් ද පැවැත්වෙන අතර, ඒ සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් එක්ව සිටියහ. ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.















