ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු “රතුවේවි මිහිමඩල” ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 28 වන දින කොළඹ පදනම් ආයතනයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ශ්‍රී ලාංකික වාමාංශික දේශපාලනය තුළ වාසුදේව නානායක්කාර යනු බලවත් චරිතයක් බවත්, රට අද පවතින තත්ත්වයට ගෙන ඒම සඳහා එම වාමාංශික බලපෑමද හේතු වූ බවත්ය. දේශපාලනිකව එකඟ වූ මෙන්ම එකඟ නොවූ තැන් තිබුණද, වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු ඉටු කළ සේවයට තමා ගෞරව කරන බව ඇය ප්‍රකාශ කළාය. තවද, 2020 වසරේදී තමා පාර්ලිමේන්තුවට පිවිසෙන විට වාසුදේව නානායක්කාර මහතාද එකම පෙළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ඔහුගේ දේශපාලන දිවියේ වැදගත් හා රසමුසු තැන් මෙම ග්‍රන්ථය තුළද අන්තර්ගත වනු ඇති බවට විශ්වාසය පළ කළාය.
මහා සංඝරත්නය, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයින් සහ පවුලේ හිතවතුන් විශාල පිරිසක් මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී වී සිටියහ.














