මහව, වළස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, රටේ අනාගතය තීරණය කරන අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා රජය ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවයි. 2026 වසර අවසානය වන විට මෙරට කිසිදු පාසලක මූලික යටිතල පහසුකම්වල ඌනතාවක් නොපවතින තත්ත්වයක් උදා කිරීම රජයේ දැක්ම බව අවධාරණය කළ ඇය, දරුවන්ගේ අධ්‍යාපනය සහ සුරක්ෂිතතාව තහවුරු කිරීම සමස්ත ජාතියේම හවුල් වගකීමක් බව සිහිපත් කළාය.
කිසිදු දරුවෙකු අධ්‍යාපනික වශයෙන් අදක්ෂ යැයි වර්ගීකරණය කළ නොහැකි බවත්, සෑම සිසුවෙකු සතු සුවිශේෂී හැකියාවන් හඳුනාගෙන ඒවා ඔප්නැංවීම වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හරය බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දරුවන් හුදු විභාග ඉලක්ක කරගත් දැනුමෙන් සන්නද්ධ කිරීම වෙනුවට, ලෝකය සමඟ තරඟ කළ හැකි ප්‍රායෝගිකව සිතන සහ නිර්මාණශීලී පරපුරක් නිර්මාණය කිරීම රාජ්‍ය ආයෝජනවල අවසාන අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම ක්‍රියාවලියේදී ප්‍රජා සහභාගීත්වය සහ පාසල් හිතවතුන්ගේ දායකත්වය ලැබීම දේශීය අධ්‍යාපන පද්ධතියේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
රජය දියත් කරන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ගෝලීය වශයෙන් විවෘත වන නව රැකියා ක්ෂේත්‍ර සහ තාක්ෂණික අභියෝග ජය ගැනීමට අපේ දරුවන්ට අවකාශය සැලසෙනු ඇත. රාජ්‍ය මට්ටමින් පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන මෙම ප්‍රමුඛතාවය, දිගුකාලීන ආර්ථික සහ සමාජීය සංවර්ධනයක් උදෙසා පදනම සකසනු ඇති බවට විද්වතුන් විශ්වාසය පළ කරති. දරුවන්ගේ හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම හරහා ශක්තිමත් පුරවැසියන් බිහිකිරීම ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ තීරණාත්මක පියවරක් වනු නොඅනුමානය.
















