අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා වන උපායමාර්ගික සැලසුම් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සීමිත පාසල් සහ උපකරණ සංඛ්‍යාවක් යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, එමඟින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් අධ්‍යයනය කරමින් එය දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහි මූලික අදියරේදී 1, 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර, දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟද මෙම වැඩසටහන ඒකාබද්ධ කර ඇත.
















