ලෝකය මුහුණ දී ඇති ගැටුම්, බෙදීම් සහ මානුෂීය අභියෝග හමුවේ ශුද්ධ වූ මුහම්මද් නබීතුමාගේ ඉගැන්වීම් මගින් මනුෂ්‍යත්වයට වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
මිලාද්-උන්-නබී (Milad-un-Nabi) දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති අතර, සාමය, සමානාත්මතාවය, කරුණාව, යුක්තිය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ නබීතුමාගේ ඉගැන්වීම් වර්තමාන සමාජය තුළද ගැඹුරු අදාළත්වයක් ඇති බව ඇය පෙන්වා දී තිබේ. විවිධ ජාතීන් සහ ආගම්වලට අයත් ජනතාව එකට ජීවත් වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙම මූලධර්ම විශේෂයෙන් වැදගත් වන බවත්, රටේ සමාජ බැඳියාව ශක්තිමත් කිරීම සඳහා වැඩි දියුණු කළ යුතු සහයෝගීතාව හා එකමුතුකම එයින් අපේක්ෂා කරන බවත් ඇය අවධාරණය කර ඇත. මීගමුව, පෙරියමුල්ල අල් හිලාල් ජාතික පාසලේදී මෙවර ජාතික මිලාද්-උන්-නබී උත්සවය සංවිධානය කර ඇති අතර, අග්‍රාමාත්‍යවරිය ලංකාවේ සහ ලෝකයේ සියලුම මුස්ලිම් ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.













