ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ගුරු වෘත්තිය හුදෙක් වේතනයකට සීමා වූ රැකියාවක් නොව ආත්ම පරිත්‍යාගයෙන් හා ආදරයෙන් ඉටුකරන මහඟු සේවයක් බව පවසයි.
අනාගත පරපුරේ නැණ නුවණ පාදා යහපත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීම සඳහා කැපවන සමස්ත ගුරු පරපුරටම සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරන බවද ඇය සඳහන් කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ කාලයට ගැළපෙන පරිදි දරුවන්ට නව මාවතක් පෙන්වාදීමට ගුරුවරුන් දක්වන කැපවීම අගය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පවසයි.
දීර්ඝ කාලයක් පැවති ගුරු හිඟයට විසඳුම් ලෙස උපාධිධාරීන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම, වැටුප් ගැටලු විසඳීම, උසස්වීම් ප්‍රමාදයන් වැළැක්වීම සහ ගුරු හා විදුහල්පති සේවාවල පුරප්පාඩු පිරවීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇය සඳහන් කරයි.
එමෙන්ම ඩිජිටල් අධ්‍යාපනයට ගැළපෙන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම, වෘත්තීය පුහුණු වැඩසටහන් නවීකරණය කිරීම සහ විදෙස් පුහුණු අවස්ථා ලබාදීමටද පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
















