ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගනිමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යුද සහ නාවික හමුදාපතිවරුන් ද පිරිවරා ගනිමින් එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද බරපතළ තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් විරෝධාර රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේය.
මෙහිදී රණවිරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෛද්‍ය පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හී වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් වත්මන් රජයේ උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවට සහතික විය.
එමෙන්ම, රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් උදාර වූ සත්කාර සේවයක් ඉටුකරන මිහිඳු සෙත් මැදුරේ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.














