දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි විවිධ අංශ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ තරුණ ශ්‍රම බලකායේ ශක්‍යතා නැංවීම, ඩිජිටල්කරණය සහ සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති සඳහා දකුණු කොරියානු රජයේ සහය ලබා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එමගින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට දකුණු කොරියාවේ රැකියා වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථා ලබාදීමට ඇති විභවතාවය සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු ආයෝජන වැඩි කිරීමට උත්සාහ කරන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.
2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ (ICAPP) මහා මණ්ඩල රැස්වීම පිළිබඳව ද තානාපතිනිය මෙහිදී කරුණු පැහැදිලි කළාය. මීට අමතරව, දිට්වා සුලි කුණාටුව හමුවේ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සහ තරුණ ප්‍රජාවට ලබාදෙන රැකියා අවස්ථා වෙනුවෙන් ටිල්වින් සිල්වා මහතා සිය ස්තුතිය පුද කර සිටියේය.














