සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයට එක්වීමට සූදානම් වන බවට පැතිර යන පුවත් තරයේ ප්‍රතික්ෂේප කර සිටියි. විශේෂ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තම දේශපාලන හැසිරීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් පදනම් විරහිත කටකතා නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ දරන බවයි.
තමාව රජයට සම්බන්ධ කර ගැනීමට සුදුසු පුද්ගලයෙකු ලෙස ආණ්ඩුව සලකා බැලීම තමන් ධනාත්මකව දකින නමුත්, තම දේශපාලන ස්ථාවරය සැමවිටම ස්වාධීන බව ඔහු අවධාරණය කළේය. තමන් නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටින බවත්, වැරදි දේ වැරදි ලෙස පෙන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම තමන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව ඇතැම් පාර්ශවයන් අසතුටින් පසුවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.














