කෝට්ටේ ප්‍රදේශයේ ඉදිවූ මාර්ග ව්‍යාපෘතිය ජනතා අදහස් විමසීමකින් තොරව බලහත්කාරයෙන් සිදු කළ ඒකාධිපති ව්‍යාපෘතියක් බවත්, බිලියන 2.5ක් වැය කළ පමණින් සංවේදී පරිසර පද්ධතියකට හානි කරමින් එම මාර්ගය විවෘත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
මාර්ගය පුළුල් කිරීමේදී පවතින නෛතික බාධාවන් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, 1940 අංක 09 දරන පුරාවිද්‍යා ආඥා පනත යටතේ ආරක්ෂිත කොටු බැම්ම විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව සඳහන් කළේය. අංගම්පිටිය දෙසින් මාර්ගය පුළුල් කිරීමට යාමෙන් රටේ ඓතිහාසික පුරාවිද්‍යා උරුමය විනාශ වන බවත්, අනෙක් පැත්තෙන් මාර්ගය පුළුල් කළහොත් ජනතාවගේ නිවාස විශාල වශයෙන් කඩා ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී නිසි රථවාහන විශ්ලේෂණයක් (Traffic Analysis) සිදු කර නොමැති බවත්, ඒ නිසාම එම මාර්ගය වර්තමානයේ ‘බෝතල් ගෙලක්’ (Bottle-neck) මෙන් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
“පළමු වතාවට වර්ජින් වෙට්ලෑන්ඩ් (Virgin Wetland) එකක් හරහා ‘S’ හැඩයට පාලමක් ගහන්න ඕනෑද? මේ වගේ සංවේදී පරිසරයක් හරහා මාර්ගයක් ඉදි කර විවෘත කිරීම කොතරම් දුරට සුදුසුද?” යනුවෙන් ඔහු විමසා සිටියේය. බිලියන ගණනක මහජන මුදල් වැය වූ පමණින්, පාරිසරික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් විනාශ කරමින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම අනුමත කළ නොහැකි බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















