පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද මහජන පෙත්සම් 10ක් සම්බන්ධයෙන් කථානායකවරයාගේ අනුමැතිය ලබාගැනීම පසුගිය මාස හයකට අධික කාලයක් තිස්සේ ප්‍රමාද වීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් මතු විය. අදාළ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය මගින් පූර්ණ අනුමැතිය ලබාගෙන ක්ලියර් වී පැමිණ තිබියදීත්, කථානායකවරයාගේ අවසන් අත්සන තැබීම පමණක් ඉතිරිව තිබියදී මෙලෙස අසාමාන්‍ය ලෙස ප්‍රමාද වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බාධා සිදුවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
පසුගිය මාර්තු මාසයේ සිට මෙම පෙත්සම් කථානායක කාර්යාලයේ නිකරුණේ ගොඩගැසී පැවතීම මහජනතාව තුළ පවතින ගැටලු නිරාකරණය කරගැනීමට පවතින බාධාවක් බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තමන්ගෙන් නිරන්තරයෙන් කරුණු විමසන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. සාමාන්‍ය පරිපාටියට අනුව ලේකම් මණ්ඩලයේ අනුමැතියෙන් පසු අත්සන් කිරීම සඳහා යොමු කෙරෙන පෙත්සම් මෙලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම පරිපාලනමය පසුබෑමක් බවත්, ජනතා නියෝජිතයන් හරහා ඉදිරිපත් වන පෙත්සම්වලට මෙවැනි අගතියක් සිදුවීම පිළිගත නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අත්සන් ප්‍රමාද වීම පිටුපස පවතින සැබෑ හේතුව වහාම හෙළි කරන ලෙසත්, ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට එම පෙත්සම්වලට අනුමැතිය ලබා දෙන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ජයසේකර මහතා කටයුතු කළේය. ව්‍යවස්ථාදායකය තුළ මහජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා නියෝජනය වන පෙත්සම් ක්‍රියාවලිය මෙලෙස නිලධාරිවාදී ප්‍රමාදයන් හේතුවෙන් අඩපණ වීම රටේ යහපාලනයට සහ පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වයට විශාල බලපෑමක් එල්ල කරන බැවින්, කථානායකවරයාගේ මැදිහත්වීම මත මෙම ගැටලුව කඩිනමින් විසඳීම අත්‍යවශ්‍ය වී තිබේ.
















