පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මෑතකදී පෙන්වූ මානුෂීය සහ ආචාරධාර්මික හැසිරීම, ආණ්ඩු පක්ෂයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මාධ්‍යවේදියෙකු විසින් සිදුකළ අනිසි ප්‍රශ්න කිරීමක් හමුවේ හර්ෂ ද සිල්වා මහතා කටයුතු කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය බවයි. මරණයක් හේතුවෙන් ශෝකයට පත්ව සිටින පවුලක් අපහසුතාවයට පත් කරමින්, එම සිදුවීම දේශපාලනික මිනී මැරුමක් ලෙස හුවා දැක්වීමට මාධ්‍යවේදියෙකු උත්සාහ කළ අවස්ථාවේදී, “මේ වෙලාව එම පවුල ශෝක වන වෙලාව බැවින් ඒ පිළිබඳව කතා කිරීමට අවශ්‍ය නැතැයි” පවසමින් හර්ෂ ද සිල්වා මහතා එම ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙහිදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය:
“හර්ෂ ද සිල්වා මහතාගේ දේශපාලනය සමඟ අපි එකඟ නෑ. නමුත් ඒ මහත්තයා මනුස්සයෙක්. මාධ්‍යවේදියෙක් ජුගුප්සාජනක ප්‍රශ්න අහද්දී ඔහු දුන්න පිළිතුර ගැන මගේ ගරුත්වය මම ඔහුට දක්වනවා. දේශපාලනයට වඩා මනුෂ්‍යත්වය අගය කරන එවැනි මහත් වරුන් විපක්ෂයේ සිටීම ගැන මම සතුටු වෙනවා.”
මෙම ප්‍රකාශය හරහා දේශපාලන භේදයකින් තොරව, පොදු සමාජ ආචාරධර්ම සහ මානුෂීය ගුණාංග ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ නව සංවාදයක් ඇති වී තිබේ.














