ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදිය ධාවනය කර පොලිස් සංඥා නොතකා පලාගොස් නිවෙසක සැඟවී සිටි යතුරුපැදිකරුවෙකු සහ නිවෙස් හිමියෙක් අද (05) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.
මොරටුමුල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු රාත්‍රී යතුරුපැදි සංචාරක රාජකාරියේ යෙදී සිටියදී ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් නතර කිරීමට සංඥා කළද, එය නොතකා පලාගිය පැදිකරු මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සැඟවී තිබෙනවා.
පොලිස් නිලධාරීන් සැකකරු අදාළ නිවසින් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකාර පැදිකරු සහ නිවෙස් හිමියා එක්ව නිලධාරීන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් අවම බලය යොදාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු වන අතර, අනෙක් සැකකරු 61 හැවිරිදි නිවෙස් හිමියෙකි. සැකකරුවන් දෙදෙනාම මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.














