මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිද්ධියට දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වූ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම සිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, බලධාරීන් ඒ පිළිබඳව දැනුවත් වී සිටියද නිසි කළමනාකරණයක් හෝ තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. රටේ වර්තමාන නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාවය මෙම සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මීට පෙර ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ලෙස කටයුතු කළ බව සිහිපත් කළේය.
ප්‍රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවත් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















